ලංකා බැංකුව 43 වන වරටත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ සුදු වැලි ඇතිරීමේ පින්කමට මූලිකත්වය ලබාදෙයි

May 19, 2026

BOC Articles - ලංකා බැංකුව 43 වන වරටත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ සුදු වැලි ඇතිරීමේ පින්කමට මූලිකත්වය ලබාදෙයි

ලංකා බැංකුව විසින් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් රජයටත් ගනුදෙනුකාරභවතුන්ටත් කාර්ය මණ්ඩලයටත් සාමය සහජීවනය සහ සෞභාග්‍ය උදාකර දීම වෙනුවෙන් ආශිර්වාද පතා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ මළුවේ සුදු වැලි ඇතිරීමේ මහා පුණ්‍ය කර්මය පසු ගිය දා සිදු කෙරිණි.

රුවන්වැලි මහා සෑය විහාරාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, මහා විහාර සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරි, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති, ශාස්ත්‍රපති, පුජ්‍ය ඊතල වැටුණු වැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේගේ සහ ලංකාරාම විහාරාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ශාස්ත්‍රපති, පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ප්‍රමුඛ අටමස්ථානයේ සියලු නායක ස්වාමීන් වහන්සේලාගේ හා අනුරාධපුර අවට විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම පුණ්‍යෝත්සවය ලංකා බැංකුව විසින් පවත්වනු ලැබුවේ  43වන වරට වීම විශේෂත්වයකි.

ලංකා බැංකුවේ එක්සත් බෞද්ධ සංගමයේ සහ උතුරු මැද පළාත් කාර්යාලයේ සංවිධානයෙන් පැවැත්වුණුමෙම මහා පිංකමට, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලය, මහා කළමනාකාර / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාර (උතුරු මැද පළාත) ඩී. ඩබ්. පී. කේ. ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ උතුරු මැද පළාත් සේවක මණ්ඩලය මෙන් ම රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය බන්දුල ජයතිලක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ සහ බැතිමත්හු රැසක් සහභාගී වූහ. මෙම පිංකමට සමගාමී ව රුවන්වැලි සෑ වැලි මළුවේ සුදු වැලි ඇතිරීම සඳහා ද ලංකා බැංකුව අනුග්‍රහය දැක්වීය.