ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත් කෙරෙයි

November 05, 2024

BOC Articles - ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත් කෙරෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකු කරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත් කර ඇත. බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත ව වසර 30කට අධික පළපුරුද්දක් සහිත ද සොයිසා මහතා, වසර 25කට අධික සිය කළමනාකරණ පළපුරුද්ද හරහා දේශීය මෙන් ම ගෝලීය බැංකු වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දිය හැකි ය. 

"ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  බැංකුව වගේ ම රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැකි ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීමට ලැබීම ගැන  ඉමහත් සතුටට පත් වෙනවා.  ලංකා බැංකුවේ නිලධාරීන් සමඟ එක් ව ගනුදෙනුකරුවන් සහ සියලු පාර්ශ්ව කරුවන් වෙත සුවිශේෂී සේවාවක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ‘ජාතියේ මහා පහන් ටැඹ’ ලෙස ලංකා බැංකුවේ ජාතික මෙහෙවර මනා ව ඉටු කිරීමට සහයෝගය ලබා දෙන බවත්, ශ්‍රී ලාංකේය ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන සමඟ අනුගත වෙමින් ලංකා බැංකුවේ උරුමය ආරක්ෂා කිරීමට මම කැප වන බවත් පැවසීමට කැමතියි." යනුවෙන් ද සොයිසා මහතා සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෑත කාලීන ව  Citybank N.A., Sri Lanka හි අධ්‍යක්ෂවරයෙකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙස සේවය කළ ද සොයිසා මහතා,  Citigroup හි දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ආයතනික හා ආයෝජන බැංකු කරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ  සහ උපදේශනය යන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මනා පළපුරුද්දක් ලබා ඇත. එමෙන් ම ඒ මහතා දශකයකට වැඩි කාලයක සිට මෙරට කළමනාකරණ සහ බලයලත් පාලන කමිටු සියල්ලක ම ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ද සොයිසා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය ලබා ඇති අතර,  එහි දී ස්වර්ණ මුද්‍රිකා ලාභියෙකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත් විය. වයස අවුරුදු 18 දී බැංකු සහකාරවරයෙකු  ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද සොයිසා මහතා, Citigroup හා සම්බන්ධ වීමට පෙර NDB බැංකුව, Nations Trust බැංකුව සහ සෙලාන් බැංකුව යන ආයතනවල සේවය කර ඇත.

ද සොයිසා මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ වරලත් ගණකාධිකාරී ආයතනයේ (CIMA) , ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ (IBSL), ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සහ මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ආශ්‍රිත සාමාජිකයෙකු ලෙස මෙන් ම වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (CGMA) ලෙස කටයුතු කරයි. ඊට අමතර ව එක්සත් රාජධානියේ CIMA හි ගෝලීය කවුන්සිල සාමාජිකයෙකු ලෙස මෙන් ම AICPA හි (ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය)  MESANA කලාපයේ සභාපතිවරයා ලෙස සේවය කර ඇති ද සොයිසා මහතා, 2011 වසරේ සිට CIMA ගෝලීය සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. එමෙන් ම ද සොයිසා මහතා චිකාගෝ විශ්ව විද්‍යාලයේ Booth School of Business වෙතින් දත්ත සහ විශ්ලේෂණ ක්ෂේත්‍රය පිළිබඳ විධායක අධ්‍යාපන වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. ඊට අමතර ව ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උප පරිපාලක සහ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ රුහුණ විශ්ව විද්‍යාලයේ බාහිර ජ්‍යේෂ්ඨ  කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරන අතර, ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත. 

BOC Chairman Mr Kavinda de Zoysa Assumes Duties

ආයතනික හා ආයෝජන බැංකු කරණය, අවදානම් කළමනාකරණය, ඒකාබද්ධ කිරීම් හා අත්පත් කර ගැනීම්, උපදේශන සේවා, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ව්‍යාපෘති මූල්‍ය, සංවර්ධන බැංකු කරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ලබා දීම, කළමනාකරණ ගිණුම්කරණය, උපාය මාර්ග සහ ආයතනික සැලසුම් කරණය, ශාඛා බැංකු කරණය, ශාඛා මෙහෙයුම් හා විගණනය සහ අලෙවිකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි, ද සොයිසා මහතාගේ පත්වීම ලංකා බැංකුවේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස සඳහන් කළ හැකි ය.