ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කරන ජුලී චන්ග් මහත්මිය පසුගිය දා ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අතර, එහි දී ඇය ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා , මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී රසල් ෆොන්සේකා යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වූවා ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුව ලෙස ලංකා බැංකුව කාන්තාවන් හා තරුණ තරුණියන් සවි බල ගැන්වීම, තිරසාර ආර්ථික සංකල්ප හා ක්‍රමවේද භාවිතය, මූල්‍ය අන්තර්ගතයන් සහ ඩිජිටල් පරිවර්තනය ආදී වශයෙන් සුවිශේෂී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ව තානාපතිවරිය දැනුවත් කිරීමට ලංකා බැංකුවේ නිලධාරීන් විසින් එය අවස්ථාවක් කර ගන්නා ලදී.
එහි දී ලංකා බැංකුව ලොව හොඳ ම බැංකු දහස අතරට තේරී පත් වීම ඇතුළු ව ලබා ගත් ජයග්‍රහණ හා ලංකා බැංකුවේ කාර්ය මණ්ඩල සංයුතියෙන් 60%ක් කාන්තා නියෝජනය සඳහා අවස්ථාව ලබා දීම වෙනුවෙන් ලංකා බැංකුව කටයුතු කර තිබීම පිළිබඳ ව ද තානාපතිවරිය දැනුවත් කෙරිණි.
සාකච්ඡාවෙන් අනතුරු ව BOC කෞතුකාගාරය නැරඹීමට ද එක් වූ තානාපතිවරිය, එහි දී ලංකා බැංකුවේ අභිමානවත් ඉතිහාසය අගය කළාය. පළාත් සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ලංකා බැංකුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා 2023 වසරේ ලංකා බැංකුවේ හොඳ ම ශාඛා කළමනාකරු හමු වී ඔවුන්ගේ කැපවීම හා සුවිශේෂී ජයග්‍රහණ අගයමින් ඔවුන් දිරිමත් කළාය.
ඇමරිකානු තානාපතිනියගේ මෙම සංචාරය පිළිබඳ ව අදහස් දැක් වූ ලංකා බැංකුවේ සභාපති ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, “ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ලංකා බැංකුවේ සංචාරයක නිරත වීම අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ඉහළ කළමනාකාරිත්වය ප්‍රමුඛ කාර්යමණ්ඩලයට මහත් ගෞරවයක්. ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළ තුළ ඇමරිකා එක්සත් ජනපදයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙම හමුව ශ්‍රී ලංකා, ආර්ථික වර්ධනය, නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම, මූල්‍ය අන්තර්ගතයන් ප්‍රශස්ත කිරීම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අප ගෙන යන කාර්යභාරය තව තවත් ශක්තිමත් කිරීම වෙනුවෙන් උත්තේජනයක් ලබා දෙනවා." යනුවෙනි.
ශ්‍රී ලංකාවේ විශාලතම මෙන් ම විශ්වසනීය ම මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව, රට පුරා ස්ථාපිත 658ක් වූ ශාඛා ජාලයකින් සහ 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයකින් සමන්විත වන අතර, චෙන්නායි, මාලේ, හුල්හුමාලේ සහ සීෂෙල්ස් හි ස්ථාපිත සිය විදේශීය ශාඛා සහ ලන්ඩනයේ පවත්වාගෙන යන පූර්ණ අනුබද්ධිත ආයතනයක් සමඟින් ලංකා බැංකුව සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය සනිටුහන් කර ඇත.
