ලංකා බැංකුවේ 'BOC Little Picasso' තරඟයේ  ජයග්‍රාහකයන් ඇගයීම වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් හා සම්මාන උළෙලක්

March 27, 2025

BOC Articles - ලංකා බැංකුවේ 'BOC Little Picasso' තරඟයේ  ජයග්‍රාහකයන් ඇගයීම වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් හා සම්මාන උළෙලක්

දේශීය දරු පරපුරේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කරන අතරතුර ඔවුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් ලංකා බැංකුවේ 85 වන සංවත්සරයට සමගාමී ව මෙවර පැවැත්වුණු 'BOC Little Picasso' චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් ඇගයීම වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් සහ සම්මාන උළෙලක් පැවැත්වීමට ලංකා බැංකුව සියලු කටයුතු සූදානම් කර ඇත. එකිනෙකට වෙනස් කාණ්ඩ පහක් යටතේ දියත් කෙරුණු මෙම සුවිශේෂී චිත්‍ර තරඟය දිවයින පුරා කලාකාමී දරු දැරියන්ගේ හා යෞවන යෞවනියන්ගේ දක්ෂතා පෙන්වීම සඳහා තෝතැන්නක් වනු ඇතැයි ලංකා බැංකුවේ විශ්වාසයයි. 

'BOC Little Picasso' තරඟය BOC රන් කැකුළු, රන් කැකුළු Smart, රන් කැකුළු Smart Investment, රන් කැකුළු විදේශ මුදල් ගිණුම්, 14+, 18+ සහ Athfal ගිණුම් යන  ලංකා බැංකුව  හඳුන්වා දී ඇති ළමා සහ යෞවන ඉතුරුම් ගිණුම් ප්‍රවර්ධනයට හේතු පාදක වූ අතර, මෙම තරඟය හරහා දරු දැරියන්ගේ හා යෞවන යෞවනියන්ගේ ඉතුරුම් පුරුද්ද වර්ධනය කර ගැනීමට උත්තේජනයක් ලබා දීම ලංකා බැංකුවේ අරමුණයි. චිත්‍ර විෂය පිළිබඳ නිපුණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක සුවිශේෂී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව පළාත් සහ ජාතික මට්ටමෙන් 'Little Picasso' චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් ඇගයුමට සහ සම්මානයට පාත්‍ර කරමින් මෙවර චිත්‍ර ප්‍රදර්ශනය හා සම්මාන උළෙල පවත්වනු ලබයි. ඒ අනුව 'Little Picasso' චිත්‍ර ප්‍රදර්ශනය 2025 අප්‍රේල් 3 වන දා සිට 5 වන දා දක්වා ( පෙ.ව. 9.30 සිට ප.ව. 5.00 දක්වා) ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ 30 වන මහලේ දී පැවැත්වීමට නියමිත ය. එමෙන් ම 'Little Picasso' සම්මාන ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් 3 වන දිනවල ලංකා බැංකු ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ලේ 3 මහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර, එහි දී ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් 73 දෙනෙකු සඳහා සම්මාන හා ත්‍යාග පිරිනැමීමට නියමිත ය. එමෙන් ම 'BOC Little Picasso' තරඟයට සහභාගි වූ සියලු ම තරඟකරුවන් වෙත වටිනා සහතික පතක් පිරිනැමීමට ද ලංකා බැංකුව කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

'BOC Little Picasso' වැනි වැඩසටහන් හරහා මෙරට තාරුණ්‍යයේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීමට නිරන්තරයෙන් කටයුතු කරන ලංකා බැංකුව, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මූල්‍ය සහකරුවා වෙමින් ඔවුන්ට  සමෘද්ධිමත් අනාගතයක් ගොඩ නැංවීමට නිබඳ ව ම කැප වෙයි.  

වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත ව සුවිශේෂී මෙහෙවරක නිරත ව සිටින  ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයින ම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සහ අද්විතීය සේවයක් ලබා දෙන ලංකා බැංකුව,  Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්,  The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳ ම බැංකු 1000 අතරට නම් කෙරුණු එක ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්,  2021, 2023 හා 2024 යන වසරවල 'වසරේ බැංකු කරු' ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතර ව 2025 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී  වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ  මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.