director-image

කුමුදිනි ජේ. යෝගරත්නම් මහත්මිය

නියෝජ්‍ය මහා කළමනාකාරිනි (උපකාරක සේවා)

කුමුදිනි ජේ. යෝගරත්නම් මහත්මිය 2026 ජනවාරි මාසයේ දී ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ලෙස ආයතනික කළමනාකරණයට පත් කරන ලදී.

යෝගරත්නම් මහත්මිය, වසර 29කට අධික කාලයක් වාණිජ බැංකුකරණය පිළිබඳ  අත්දැකීම් සහිත වෘත්තීය වේදිනියක  වන අතර, ඇය සාමාන්‍ය බැංකුකරණය, ණය මෙහෙයුම්, අක්වෙරළ බැංකුකරණය සහ ජාත්‍යන්තර බැංකුකරණය යන ක්ෂේත්‍ර ආශ්‍රිත ව  විශේෂ දැනුමකින් හෙබි ය. ඇයගේ වෘත්තීය අත්දැකීම්වලට ශාඛා මට්ටමේ මෙහෙයුම් කටයුතු, ප්‍රධාන කාර්යාල මට්ටමේ ප්‍රතිපත්තිමය වගකීම්, කළඹ කළමනාකරණය (Portfolio Management) සහ විදේශීය සේවා අත්දැකීම් ඇතුළත් වන අතර, දේශීය හා ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇය සතු ය.

ලන්ඩන් හි Bank of Ceylon (UK) LTD, මාලේ සහ  චෙන්නායි යන විදේශීය ශාඛාවන් හි,   වසර 11ක සේවා අත්දැකීම් සහිත යෝගරත්නම් මහත්මිය, 2020 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ ලංකා බැංකුවේ චෙන්නායි ශාඛාවේ දේශීය කළමනාකාරිණිය ලෙස සේවය කරමින් ඉන්දියාව තුළ ලංකා බැංකුවේ මෙහෙයුම් කටයුතු සඳහා  නායකත්වය සහ උපාය මාර්ගික මඟ පෙන්වීම ලබා දුන්නාය. 2016 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ එම ශාඛාවේ නියෝජ්‍ය කළමනාකාරිණිය ලෙස ද, අක්වෙරළ බැංකුකරණ අංශයේ වසර තුනකට අධික කාලයක් ද සේවය කරමින් ලත්  අත්දැකීම් ඇය සතු ය.

ආයතනික කළමනාකරණයට පත් වීමට පෙර ඇය, සහකාර මහා කළමනාකාරිණී (අක්වෙරළ බැංකුකරණය) ලෙස සේවය කළ අතර, ඊට පෙර ඇය නැගෙනහිර පළාතේ සහකාර මහා කළමනාකාරිණිය ලෙස පළාත් බැංකු මෙහෙයුම් කටයුතු සඳහා නායකත්වය ලබා දුන්නා ය. 

1997 වසරේ දී ලංකා බැංකුවට එක් වූ ඇය දේශීය හා ජාත්‍යන්තර වාණිජ බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක අත්දැකීම් ලබා ඇත. මෙහෙයුම් හා කළමනාකරණ වගකීම්වලට අමතර ව බැංකුවේ මධ්‍යම පුහුණු ආයතනය, ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ බැංකුව විසින් සංවිධානය කරන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ කළමනාකරණ විද්‍යාවේදී (විශේෂ) උපාධිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) වෙතින් MBA උපාධිය ලබා ඇති යෝගරත්නම් මහත්මිය,  ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවක් වන අතර, ඇය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආවසරික ලාභියෙකු මෙන් ම ශ්‍රී ලංකා වෘත්තීය බැංකු කරුවන්ගේ සංගමයේ  යාවජීව සාමාජිකාවක ද වේ. ඇය 2020-2024 කාලසීමාව තුළ ඉන්දියාවේ ඉන්දු-ආසියාන් ශ්‍රී  ලංකා වාණිජ මණ්ඩලයේ (Indo-Asean Sri Lankan Chamber of Commerce in India) ක්‍රියාකාරී කමිටු සාමාජිකාවක ලෙස කටයුතු කර ඇත.