director-image

වයි. ඒ. ජයතිලක මහතා

මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි

2025 අගෝස්තු 6 වන දින සිට ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු / වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ලෙස වයි. ඒ. ජයතිලක මහතා පත් කෙරුණු අතර 2026 පෙබරවාරි මස 27 වන දින මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි ලෙස ස්ථිර කරන ලදී. 2020 පෙබරවාරි මාසයේ දී ලංකා බැංකුවේ ආයතනික කළමනාකාරිත්වයට පත් කෙරුණු ජයතිලක මහතා, එතැන් සිට නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා), නියෝජ්‍ය මහා කළමනාකරු (අය කර ගැනීම් - පළාත්), නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු හා ශාඛා ණය මෙහෙයුම්) සහ නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) තනතුරු දරා ඇත.

ආයතනික කළමනාකාරිත්වයට පත්වීමට පෙර, ඔහු 2015 අප්‍රේල් මාසයේ සිට විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු ලෙස සහකාර මහා කළමනාකරු (Product Development and Business Process Re-Engineering Project), සහකාර මහා කළමනාකරු (මධ්‍යම පළාත) සහ සහකාර මහා කළමනාකරු (Province Sales Management) ඇතුළු විවිධ තනතුරු වල සේවය කර ඇත.

මෙරට බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත ව  වසර 29කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු වන ජයතිලක මහතා, 1997 වසරේ දී කළමනාකරණ අභ්‍යාසලාභියෙකු ලෙස ලංකා බැංකුව සමඟ එක් වූ අතර, ඒ මහතා, සහකාර මහා කළමනාකරු සහ නියෝජ්‍ය මහා කළමනාකරු යන ශ්‍රේණිවල දශකයකට වැඩි කාලයක් සේවය කර ඇත.

පුළුල් පරාසයක බැංකු මෙහෙයුම් කටයුතු පිළිබඳ ව මනා පළපුරුද්දක් සහිත ජයතිලක මහතා, ශාඛා මෙහෙයුම්, ණය මෙහෙයුම්, සංවර්ධන බැංකුකරණ සහ අය කර ගැනීම් ඇතුළු බැංකු කටයුතු පිළිබඳ    ප්‍රවීනයෙකි. විදේශ විනිමය වෙළෙඳපොළ, මූල්‍ය වෙළෙඳපොළ, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ආයෝජන කළමනාකරණය,  භාණ්ඩාගාර මෙහෙයුම් සහ විදේශීය මෙහෙයුම් කටයුතු පිළිබඳ සිය සේවා කාලය තුළ මනා පළපුරුද්දක් ලබා ඇති ජයතිලක මහතා,  මූලික බැංකු පද්ධති, වෙළෙඳ මූල්‍ය සේවා, වැඩ ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය (Workflow Automation) සහ Mobile Banking App ආශ්‍රිත ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී  සිය නායකත්වය ලබා දී ඇති අතර, ඒ මහතා,  නිමැවුම් හා සේවා සංවර්ධනය, ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය යන අංශ සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. 

ජයතිලක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධියක් සහ කැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර (මූල්‍ය) පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත. එමෙන් ම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයෙකු වන ඒ මහතා, බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත. මීට අමතර ව ජයතිලක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ උපාය මාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් පාඨමාලාව මෙන් ම ප්‍රංශයේ INSEAD විශ්ව විද්‍යාලයේ උසස් කළමනාකරණ පාඨමාලාව (AMP) සාර්ථක ව සම්පූර්ණ කර ඇත.

මීට අමතර ව ජයතිලක මහතා, Property Development Limited, Hotels Colombo (1963) Limited, BOC Property Development and Management (Pvt) Limited, Ceybank Holiday Homes (Pvt) Limited සහ BOC Management and Support Services (Pvt) Limited යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.