සුරේෂ් පෙරේරා මහතා
නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් සහ බැංකු සංවර්ධන)
සුරේෂ් පෙරේරා මහතා 2026 ජනවාරි මාසයේ දී ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) ලෙස පත් කරන ලදී. ඒ මහතා වසර 23කට අධික කාලයක් ලංකා බැංකුවේ සේවය කර ඇති අතර, දශක දෙකකට අධික කාලයක් පුරා බැංකුවේ ප්‍රධාන පරිවර්තනීය වැඩසටහන්වලට සක්‍රීය දායකත්වය ලබා දී ඇත.
2002 මාර්තු මාසයේ දී වෘත්තීය බැංකු කරුවෙකු ලෙස ලංකා බැංකුවට එක් වූ පෙරේරා මහතා, 2019 අගෝස්තු මාසයේ දී සහකාර මහා කළමනාකරු තනතුරට උසස් කරන ලදී. වෘත්තීය ජීවිතයේ මුල් අවධියේ ශාඛා බැංකුකරණක්ෂේත්‍රය ආශ්‍රිත ව ලබා ගත් අත්දැකීම් සහ තාක්ෂණික දැනුම පසු කාලීන ව බැංකුවේ පරිවර්තන ක්‍රියාවලියෙහි ප්‍රධාන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සඳහා ඒ මහතාට මඟ පෙන්වීය.
පෙරේරා මහතාගේ ජ්‍යේෂ්ඨ කළමනාකරණ සේවා කාලය තුළ ඔහු සහකාර මහා කළමනාකරු (නිමැවුම් සංවර්ධන හා ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිසංස්කරණ), ප්‍රධාන කළමනාකරු (ආයතනික පරිවර්තන) සහ ව්‍යාපෘති කළමනාකරු (ප්‍රධාන පරිවර්තන ව්‍යාපෘති) ලෙසද කටයුතු කර ඇත.
ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා බැංකුවේ උපාය මාර්ගික පරිවර්තන වැඩසටහන් රැසක් සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. සමස්ත ශාඛා ජාලය ස්වයංක්‍රීයකරණය කිරීම හා ඒකාබද්ධ කිරීම සම්බන්ධ මහා පරිමාණයේ ප්‍රතිසංවිධාන ව්‍යාපෘති, ඩිජිටල්කරණ වැඩසටහන් සහ නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම සඳහා පෙරේරා මහතා සිය දායකත්වය ලබා දී ඇත. විශේෂයෙන් ම බැංකුවේ ප්‍රමුඛතම ජංගම යෙදුම (APP) වන 'BOC Flex app' සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ඒ මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ ය.
පෙරේරා මහතාගේ සේවා කටයුතු නිරන්තරයෙන් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ බැංකුවේ ඩිජිටල් හැකියා ශක්තිමත් කිරීම කෙරෙහි යොමු වී ඇත.
ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ (රාජ්‍ය) විශේෂ විද්‍යාපති උපාධිය (දෙවන පන්තියේ උසස් සාමාර්ථයක්) ලබා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. එමෙන් ම ඒ මහතා ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයෙන් බැංකු හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති අතර, ඔහු ශ්‍රී ලංකා වෘත්තීය බැංකු කරුවන්ගේ සංගමයේ යාවජීව සාමාජිකයෙකි.