director-image

සමීර ඩී. ලියනගේ මහතා

ප්‍රධාන අලෙවි නිලධාරී

2020 අගෝස්තු 04 වැනි දින ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී ලෙස පත්වීම් ලද සමීර ලියනගේ මහතා  රාජ්‍ය සහ පෞද්ගලික යන අංශයන් හි බැංකුකරණ සහ වෘත්තීය අලෙවිකරණ යන ක්ෂේත්‍ර ආශ්‍රිත ව වසර 26 කට වැඩි පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකු වන අතර, ඒ මහතා 2015 වසරේ දී එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනය විසින් වරලත් අලෙවිකරුවෙකු වශයෙන් නම් කෙරිණි.

ලංකා බැංකුව හා එක් වීමට පෙර සණස සංවර්ධන බැංකුවේ අලෙවිකරණ සහ පෞද්ගලික බැංකුකරණ ප්‍රධානී වශයෙන් වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කළ ලියනගේ මහතා, ඊට ප්‍රථම පෑන් ඒෂියා බැංකුවේ අලෙවි  කළමනාකරු ලෙස වසර හයක් කටයුතු කළ අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වසර පහක් හා සෙලාන් මර්චන්ට් බැංකුවේ වසර දෙකක් අලෙවි කරන අංශයේ  තනතුරු හෙබවීය.

බැංකුකරණ සහ අලෙවිකරණ යන ක්ෂේත්‍ර ආශ්‍රිත පළපුරුදු වෘත්තිකයකු ලෙස සැලකිය හැකි ලියනගේ මහතා ණය සහ ඉතුරුම් සේවා රැසක් වෙළෙඳපොළ තුළ දියත් කිරීමේ පුරෝගාමියකු ලෙස කටයුතු කරමින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රසාදයට ලක් වූ වෘත්තිකයෙකි. ඒ අතරට බොහෝ බැංකුවල ප්‍රධාන සේවා බවට පත් ව ඇති විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා වන ණය යෝජනා ක්‍රම සහ රණවිරුවන් හා ඔවුන්ගේ ආසන්නතම යැපෙන්නන් සඳහා වන විශේෂ බැංකු සේවා යනාදිය ඇතුළත් වේ. 

මහා බ්‍රිතාන්‍යයේ Wrexham විශ්ව විද්‍යාලයේ  ව්‍යාපාර පරිපාලන (අලෙවිකරණය)  පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන ලියනගේ මහතා, වරලත් අලෙවි කරන ආයතනයෙන් (CIM,UK) අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ඩිප්ලෝමාවක් ලබා ඇති අතර, එම ආයතනයේ  අධි සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. තවද, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ (CPM) අධි සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. ඊට අමතර ව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලියනගේ මහතා, ශ්‍රී ලංකා වෘත්තීය බැංකු කරුවන්ගේ සංගමයේ ද සාමාජිකයකු ලෙස කටයුතු කරයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඔහු මීට පෙර සිය පාසල විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Future Minds උසස් අධ්‍යාපන හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර ඇති අතර, වර්තමානයේ එහි උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරයි. එමෙන් ම ලියනගේ මහතා 2019/2021 කාල වකවානුව තුළ නාලන්දා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.