director-image

කාවින්ද ද සොයිසා මහතා

සභාපති, ලංකා බැංකුව

කාවින්ද ද සොයිසා මහතා, ලංකා බැංකුවේ  සභාපති/විධායක නොවන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම වාණිජ බැංකුව වන ලංකා බැංකුව, එක්සත් රාජධානිය, ඉන්දියාව, මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල ස්ථාපිත විදේශ ශාඛා ජාලය සමඟින්, දිවයින පුරා පිහිටා ඇති ශාඛා 650කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර, ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන 2,300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. 2024 වසරේ දී ඉතිහාස ගත වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 106.9 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට ලංකා බැංකුව සමත් වූ අතර, එය ශ්‍රී ලාංකික බැංකුවක් විසින් වාර්තා කරන ලද ඉහළ ම බදු පෙර ලාභය වේ. එමෙන් ම 2025 වසරේ දී, Brand Finance Lanka  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංකුව නම් කෙරුණු අතර, එහි සන්නාම තක්සේරුව රුපියල් බිලියන 57.4 කි. 

BOC UK Ltd, BOC Property Development Ltd, BOC IT Solutions Pvt Ltd සහ BOC Property Development & Management (Private) Ltd යන ආයතනවල සභාපති/විධායක නොවන අධ්‍යක්ෂක ලෙස සහ Lanka Hospitals Corporation PLC හි ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂක ලෙස ද, කටයුතු කරන ද සොයිසා මහතා, CIMA UK හි ගෝලීය කවුන්සිල සාමාජිකයෙකු (අධ්‍යක්ෂ මණ්ඩලය) ලෙස (සැයු : CIMA සහ AICPA එක් ව ලොව විශාලතම ගිණුම්කරණ ආයතනය නිර්මාණය කර ඇත) කටයුතු කරන අතර, ඒ මහතා AmCham Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇත. 

බැංකුකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව  දශක 3කට අධික කාලයක සහ කළමනාකරණ ක්ෂේත්‍රය ආශ්‍රිත ව වසර 25 කට අධික කාලයක පළපුරුද්දක් සහිත වෘත්තීය බැංකු කරුවකු වන ද සොයිසා මහතා,  සිය වෘත්තීය ජීවිතය තුළ, දේශීය හා ජාත්‍යන්තර යන බැංකු ක්ෂේත්‍ර දෙක ම ජය ගැනීමට සමත් වී ඇති අතර, ඒ මහතා ආයතනික හා ආයෝජන බැංකුකරණය, ඩිජිටල්කරණය, අවදානම් කළමනාකරණය, උපායමාර්ගික සැලසුම්කරණය, උපදේශන සේවා, ප්‍රාග්ධන වෙළෙඳපොළ, කළමනාකරණ ගිණුම්කරණය, සංවර්ධන බැංකුකරණය, ව්‍යාපෘති මූල්‍ය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත ව ණය ලබා දීම, බැංකු මෙහෙයුම්, වෙළෙඳ කටයුතු, ECA මූල්‍යකරණය, විගණනය, මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර  (FICC නිමැවුම් විසඳුම්) යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයෙකි. 

ද සොයිසා මහතා ලංකා බැංකුව සමඟ එක් වීමට පෙර Citibank N.A Sri Lanka හි අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, Citibank හි සේවය කළ දශක 2කට ආසන්න කාලය තුළ ඒ මහතා, එම ආයතනයේ කළමනාකරණ කණ්ඩායමේ සහ පාලන කමිටුවල ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත.  එම කාල වකවානුව තුළ උපායමාර්ගික සැලසුම් සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීම, ආයතනික මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ගනුදෙනු,  උපදේශන හා ඩිජිටල් ප්‍රවර්ධන මෙහෙයුම් ආදී ක්ෂේත්‍ර පිළිබඳ ව මනා දැනුමක් ලබා ගැනීමට සමත් වූ ද සොයිසා මහතා, Citibank හා සම්බන්ධ වීමට පෙර  ජාතික සංවර්ධන බැංකුව (NDB), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සහ සෙලාන් බැංකුව යන ආයතනවල තනතුරු දරා ඇත. 

2022/23 වසර සඳහා ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරීවරයන්ගේ සංගමයේ (AICPA) MESANA කලාපීය සබඳතා කණ්ඩායමේ සභාපති ධුරය දැරූ ද සොයිසා මහතා, 2011 වසරේ සිට,  එම ආයතනයේ  ජ්‍යේෂ්ඨ සාමාජිකත්ව තක්සේරු කරුවකු සහ CIMA ගෝලීය සාමාජිකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ අතර, ඒ මහතා එම මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

එමෙන් ම ද සොයිසා මහතා,  ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂකවරයෙකු හා උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ සහ රුහුණ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලා ආශ්‍රිත ව බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි. 

ද සොයිසා මහතාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් : 

  • කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධිය හදාරා ඇති අතර, ස්වර්ණ මුද්‍රිකා ලාභියෙකි.
  • එක්සත් රාජධානියේ කළමනාකරණ වරලත් ගණකාධිකාරී ආයතනයේ (CIMA, U.K.) ආශ්‍රිත සාමාජිකයෙකි.
  • මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ආශ්‍රිත සාමාජිකයෙකි.
  • ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ (IBSL) ආශ්‍රිත සාමාජිකයෙකි. 
  • ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) ආශ්‍රිත සාමාජිකයෙකි.
  • වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයෙකි. (CGMA) - AICPA & CIMA. 
  • ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (Sri Lanka Institute of Directors - SLID) ආශ්‍රිත සාමාජිකයෙකි. 
  • ICAEW සහ එක්සත් රාජධානියේ විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ සංගමය (NEDA) එක් ව පිරිනමන ICAEW විධායක නොවන අධ්‍යක්ෂ පාඨමාලාව සාර්ථකව නිම කර ඇත.
  • චිකාගෝ විශ්ව විද්‍යාලයේ Booth School of Business වෙතින් දියත් කරන දත්ත සහ විශ්ලේෂණ ක්ෂේත්‍රය පිළිබඳ විධායක අධ්‍යාපන වැඩසටහන සම්පූර්ණ කර ඇත.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ද සොයිසා මහතා,  ක්‍රීඩකයෙකු සහ නවෝත්පාදකයෙකු ලෙස ජනප්‍රියත්වයට පත් වී ඇති අතර, ඔහු ආචාර ධර්ම, අනුකූලතා හා විවිධාංගීකරණය, සමානාත්මතාව සහ අන්තර්ගතය (DEI) ප්‍රවර්ධනය සඳහා නිරන්තරයෙන් පෙනී සිටී. එමෙන් ම ඒ මහතා පාරිසරික, සාමාජීය හා පාලන (ESG), කුසලතා සහ කාර්යක්ෂමතාව යන සංකල්පවලට මූලිකත්වය ලබා දෙමින් කටයුතු කරයි.