ජයශාන්ත ගොඩකන්ද මහතා
නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ ආයෝජන)
කීර්තිමත් වෘත්තිකයෙකු වන ජී. ඒ. ජයශාන්ත මහතා 2020 අගෝස්තු මාසයේ දී ආයතනික කළමනාකාරිත්වයට පත් කරන ලද අතර, දැනට නියෝජ්‍ය මහා කළමනාකරු (ජාත්‍යන්තර, භාණ්ඩාගාර සහ ආයෝජන) ලෙස කටයුතු කරයි. ඒ මහතා ඊට පෙර නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම් - කළාප 2), ප්‍රධාන අවදානම් නිලධාරී සහ නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකුකරණය) ලෙස කටයුතු කළේ ය.
ජයශාන්ත මහතා 1994 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය (විශේෂ) පිළිබඳ පළමු පන්තියේ විද්‍යාවේදී උපාධියක් හිමි කර ගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කර ගැනීමට සමත් විය. ඊට අමතර ව ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇති ජයශාන්ත මහතා, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි.
1997 දී කළමනාකරණ අභ්‍යාස ලාභියෙකු ලෙස ලංකා බැංකුව සමඟ සම්බන්ධ වූ ජයශාන්ත මහතා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය සම්බන්ධව මෙන් ම ශාඛා මෙහෙයුම් පිළිබඳ ව ද විශේෂඥයෙකි. දශකයකට වැඩි කාලයක් භාණ්ඩාගාර අංශයේ සේවය කළ ඒ මහතා Dealing, PDU, සහ ALM වැනි අංශ වල විවිධ ප්‍රධාන තනතුරු දරා ඇති අතර, ලංකා බැංකුවේ පළමු ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව, ඩොලරයේ වටිනාකම් සහිත ණයකර නිකුතුව සහ විවිධ මූල්‍ය උපකරණ හරහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් ආදිය මෙහෙයවීම සඳහා ඒ මහතා දැක් වූ දායකත්වය ඔහුගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන සන්ධිස්ථාන ලෙස දැක්විය හැකි ය.
ආයතනික අයකරගැනීම්, අවදානම් කළමනාකරණ, බස්නාහිර පළාත (දකුණ) සහ අක්වෙරළ බැංකුකරණ යන ක්ෂේත්‍රවල සහකාර මහා කළමනාකරු ලෙස ලංකා බැංකුවේ විධායක කළමනාකාරීත්වය වෙත පිවිසෙන ජයශාන්ත මහතා නියෝජ්‍ය මහා හළමනාකරු ශ්‍රේණියට උසස් කෙරුණු අතර, ඒ මහතා සහකාර මහා කළමනාකරු ශ්‍රේණියේ සේවය කරන කාලය තුළ දී ලංකා බැංකුවේ විනය අධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන් ම සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ලංකා බැංකුවේ සේවය කරන අතරතුර ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව, සී බෑන්ක් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ්, සහ ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් මැනේජ්මන්ට් කොම්පැණි ලිමිටඩ් යන ආයතනවල අධ්‍යක්ෂක ධූරයන් දරමින්, පුළුල් ව්‍යාපාරික විශේෂඥතාවක් පිළිබිඹු කරන ජයශාන්ත මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද වසර දෙකක කාලයක් සේවය කර ඇත.