director-image

දර්ශන් ජයරත්න මහතා

ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ

දර්ශන් ජයරත්න මහතා 2025 වර්ෂයේ සැප්තැම්බර් 26 වන දින සිට ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලදි. 

ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකු කිහිපයක සේවය කරමින් වසර 31කට අධික පළපුරුද්දක් සහිත වෘත්තිමය බැංකුකරුවකු වන ජයරත්න මහතා,  භාණ්ඩාගාර හා මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ වසර 27කට අධික විශේෂඥතාවකින් යුක්ත වන අතර භාණ්ඩාගාර හා ආයෝජන කළමනාකරණය, මූල්‍ය වෙළෙඳපොළ, විදේශ විනිමය හා අනුපාත ආශ්‍රිත වෙළෙඳ කටයුතු, ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යුහගත නිමැවුම් පිළිබඳ තම වෘත්තිමය ජීවිතය පුරා ඉතා ගැඹුරු අවබෝධයක් ලබා ඇති වෘත්තිකයෙකි.

1993 වර්ෂයේ දී ABN AMRO බැංකුවෙහි සේවයට එක් වීමත් සමඟ ජයරත්න මහතාගේ වෘත්තිමය ජීවිතය ආරම්භ වූ අතර, 1997 වර්ෂයේ දී එතුමා එම බැංකුවෙහි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එක් වන තෙක් සාමාන්‍ය බැංකුකරණ මූලධර්ම පිළිබඳ විශේෂඥතාවක් ලබාගනිමින් බැංකු ක්ෂේත්‍රයෙහි සිය වර්ධනය හා සාර්ථකත්වය සඳහා අවශ්‍ය පදනම ලබාගත්තේය.  ඉන් අනතුරුව 2002 වර්ෂයේ දී CITI BANK  හි භාණ්ඩාගාර අංශයට සම්බන්ධ වූ ජයරත්න මහතා, විදේශ විනිමය ආශ්‍රිත වෙළෙඳ කටයුතු සහ මූල්‍ය වෙ‌ළෙඳපොළ පිළිබඳ  දැනුම පුළුල් කරගත් අතර, එහිදී බැංකුවේ ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳව ද මනා අවබෝධයක් ලබාගැනීමට එතුමාට හැකි විය. 2004 වර්ෂයේ දී Standard Chartered බැංකුවට සම්බන්ධ වීම හරහා සිය  කුසලතා තවදුරටත් වර්ධනය කරගත් ජයරත්න මහතා, දශක දෙකක කාලයක් ක්‍රමානුකූලව ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් කීර්තිමත් සේවා කාලයක් ගත කළ අතර, 2011 වර්ෂයේ දී Standard Chartered බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම ශ්‍රී ලංකා මූල්‍ය වෙළෙඳපොළෙහි ප්‍රධානියා ලෙස ද එතුමා පත් කෙරිණි. එමෙන් ම  2024 වර්ෂයේ අගෝස්තු මාසය දක්වා ජයරත්න මහතා දේශීය කළමනාකරණ කණඩායමෙහි සාමාජිකයකු මෙන් ම බැංකුවේ ප්‍රධාන කළමනාකරණ නිලධාරියකු වශයෙන් ද විශිෂ්ට සේවාවක් ඉටු කළේය. ඉන් අනතුරුව 2024 වර්ෂයෙහි අගෝස්තු මාසය දක්වා වන කාලය තුළ ඒ් මහතා පොදු බැංකුකරණ අංශයේ සම ප්‍රධානී, විදේශ විනිමය හා අනුපාත වෙළෙඳ කටයුතු ප්‍රධානී, වත්කම් හා වගකීම් කළමනාකරණ ප්‍රධානී මෙන් ම මූල්‍ය හා ආරක්ෂණ සේවා ප්‍රධානී ඇතුළු කැපීපෙනෙන වගකීම් හොබවා ඇත.
 

ජයරත්න මහතාගේ තියුණු ව්‍යාපාරික ඥානය සහ වෙළෙඳපොළ, සාර්ව ආර්ථික කටයුතු මෙන් ම අවදානම් කළමනාකරණය පිළිබඳ ඔහු සතු ගැඹුරු අවබෝධය හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළ උපායමාර්ග ආයතනික ඉලක්ක සමඟ සාර්ථකව පෙළගැස්වීමට ඔහුට හැකි විය. වෙළෙඳපොළ අස්ථාවරත්වයන්ට සහ ආර්ථික උච්චාවචනයන්ට විසඳුම් ලබා දීම පිළිබඳව ජයරත්න මහතා සතු හැකියාව හේතුවෙන් මෑතකාලීනව පැවති ආර්ථික අර්බුද කාල සීමාවේ දී Standard Chartered බැංකුවෙහි නියාමන සබඳතා ශක්තිමත් කරමින් සිය සේවාදායකයන්ගේ විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. මෙමඟින් ජයරත්න මහතාගේ වෘත්තිමය විශිෂ්ටත්වය මෙන් ම ශ්‍රී ලාංකේය මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් එතුමාගේ කැපවීම පිළිබිඹු කෙරේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයකු වන ජයරත්න මහතා, ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධිය හදාරා ඇත.