මහාචාර්ය ආනන්ද ජයවර්ධන
ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ
ඉංජිනේරු, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, බැංකුකරණය, මූල්‍ය, නිමැවුම්, රක්ෂණය, අධ්‍යාපනය මෙන්ම විද්‍යාව හා තාක්ෂණවේදය යන ක්ෂේත්‍රයන් හි රාජ්‍ය හා පෞද්ගලික ආයතනික පාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් හා විශේෂඥතාවක් සහිත ශාස්ත්‍රඥයෙකු සහ වෘත්තිකයෙකි.
කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය දැරූ ජයවර්ධන මහතා, වසර නවයක් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර, වඩාත් අභියෝගාත්මක කාලවල දී බැංකුව සාර්ථකව මෙහෙයවීමට දායක වෙමින්, 2024 වසරේ අප්‍රේල් මාසයේදී සිය ධුර කාලය අවසන් කළේය. ආයතනික පාලනය, උපායමාර්ග, අවදානම් කළමනාකරණය, ණය, කුසලතා කළමනාකරණය, තාක්ෂණ කළමනාකරණය සහ පාරිසරික, සමාජීය හා යහපාලන (ESG) රාමුව පිළිබඳ විශේෂඥයකු වන ජයවර්ධන මහතා, වර්තමානය වන විට HNB ඇෂුවරන්ස් PLC හි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත්, Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කරන අතර, Mother Lanka Foundation හි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. තවද ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ කොටස්කරුවන්ගේ සම්බන්ධතා කමිටුවේ සාමාජිකයකු සහ CA Sri Lanka ආයතනයේ ආයතනික යහපාලන කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
ජයවර්ධන මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු, උපකුලපති කමිටුවේ හිටපු සභාපතිවරයකු සහ ජාතික විද්‍යා පදනමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වන අතර, ඒ මහතා CBC Tech Solutions (Pvt) Ltd හි සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයකු, සියෙරා කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත. එමෙන් ම ජයවර්ධන මහතා සර් ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනය, ජාතික විද්‍යා පදනම, ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය, මිලෝඩා මූල්‍ය අධ්‍යයන ඇකඩමිය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලය සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය යන ආයතනවල ද ඉහළ පෙළේ තනතුරු හොබවා ඇත.
වරලත් ඉංජිනේරුවකු, ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවකු, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනයේ සාමාජිකයකු, ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකයකු, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකයකු සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන ජයවර්ධන මහතා, මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්වය පිළිබඳ NDB බැංකුව ප්‍රදානිත (NDB Bank Endowed Professor)හිටපු මහාචාර්යවරයා සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.
ජයවර්ධන මහතා පෙළ පොත් කිහිපයක ම සම-කර්තෘවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඒ මහතා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය යන ක්ෂේත්‍ර ඇතුළු ව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ පත්‍රිකා 85 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති විද්වතෙකි. බොහෝ අවස්ථාවන්හි දී උපාධි ප්‍රදානෝත්සව දේශන සහ ප්‍රධාන දේශන පවත්වා ඇති ජයවර්ධන මහතා, සිය පර්යේෂණ ප්‍රකාශන සහ නායකත්වය වෙනුවෙන් සම්මාන කිහිපයකින් පිදුම් ලබා ඇත. සිංහ සමාජයේ ජාත්‍යන්තර ඉංජිනේරු කාණ්ඩය යටතේ ජාතික සම්මානය - දිස්ත්‍රික් 306A1, IESL ජනාධිපති සම්මානය, ආසියානු අධ්‍යාපන විශිෂ්ටතා සම්මානය, ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මානය, ලෝක අධ්‍යාපන සම්මේලනය හා CMO Asia විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මානය සහ ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් දක්වන ලද සක්‍රීය සහභාගිත්වය සඳහා IESL විසින් පිරිනමනු ලබන ජීවිත කාලයටම ලැබිය හැකි විශිෂ්ඨතම හා ගෞරවනීය ම සම්මානය වන 'Eminence in Engineering' සම්මානය ජයවර්ධන මහතා පිදුම් ලබා ඇති සම්මාන අතරින් කිහිපයකි.