ආචාර්ය එම්. කේ. සේනානායක
නිල බලයෙන් පත් වූ විධායක නොවන අධ්‍යක්ෂ
වර්තමානයේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ආචාර්ය කපිල සේනානායක මහතා, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩල නිල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. ඕස්ට්‍රේලියාවේ New South Wales විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ආචාර්ය සේනානායක මහතා, ජපානයේ Hitotsubashi විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ව්‍යාපාර ක්‍රමෝපාය පිළිබඳ උපාධි ආයතනයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දෙවන පන්තියේ (ඉහළ සාමාර්ථයක්) සමඟින් වාණිජවේදී (විශේෂ) උපාධියක් ද ලබා ඇති අතර, ඒ මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ උසස් ඩිප්ලෝමා දෙකක් හිමි කර ගෙන ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ ආචාර්ය සේනානායක මහතා එහි ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව හා නාමයෝජනා කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළ අතර, ශ්‍රී ලංකා හෝටල් සංවර්ධකයින්ගේ ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ඉංග්‍රීසි පශ්චාත් උපාධි ආයතනය, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ Lanka Coal (Pvt) Ltd යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කර ඇත.
ඊට අමතරව ආචාර්ය සේනානායක මහතා රාජ්‍ය භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැඩබලන) සහ සහකාර අධ්‍යක්ෂ යන තනතුරු හොබවා ඇති අතර, ඒ මහතා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.
ආචාර්ය සේනානායක මහතා විශේෂඥතාවක් දක්වන ක්ෂේත්‍ර ආශ්‍රිත ව දේශීය මෙන් ම ජාත්‍යන්තර ප්‍රකාශන රැසකට දායක වී ඇත. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් පැවැත්වුණු සම්මන්ත්‍රණ රැසකට සිය දායකත්වය ලබා දී ඇති ආචාර්ය සේනානායක මහතා, ඕස්ට්‍රේලියාවේ New South Wales විශ්ව විද්‍යාලයේ දේශකවරයකු ලෙස ද කටයුතු කර ඇත.