1. හැඳින්වීම
ලංකා බැංකුව ලෙස, අපගේ ගනුදෙනුකරුවන්ගේ සමාජ තත්ත්වය, ශාරීරික හැකියාව, විවාහක, අවිවාහක තත්ත්වය, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ආගම හෝ මූල්‍ය සාක්ෂරතාව කුමක් වුවත්, ඔවුන් සියලු දෙනාටම සාධාරණව සහ සමානව මූල්‍ය නිෂ්පාදන සහ සේවා ලබා දීමට අපි කැපවී සිටිමු. අපගේ අරමුණ වන්නේ මූල්‍ය අන්තර්ගතභාවය වර්ධනය කිරීම සහ අපගේ සේවාවන් සැමට ප්‍රවේශවිය හැකි පරිදි සකස් කිරීමයි.
2. වෙනස් කොට නොසැලකීම
මූල්‍ය සේවාවන් සැපයීමට අදාළ නොවන කිසිදු කරුණක් මත පදනම්ව බැංකුව විසින් කිසිදු ගනුදෙනුකරුවකු වෙනස් කොට නොසලකයි. අපගේ මූල්‍ය සේවාවන් ලබා ගැනීමටත්, ඒවායින් ප්‍රතිලාභ ලැබීමටත් සෑම පුද්ගලයෙකුටම සමාන අවස්ථාවක් ඇති බව තහවුරු කිරීම අපගේ අරමුණයි.
(සටහන: යම් නිශ්චිත ජන විකාශන හෝ ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂිත වූ හෝ වෙන්වූ නිෂ්පාදන පිරිනැමීමට මෙම ප්‍රතිපත්තිය බැංකුවට බාධාවක් නොවේ.)
3. ප්‍රවේශ්‍යතාව සඳහා අපගේ කැපවීම
පහත සඳහන් මුලපිරීම් හරහා සියලුම බැංකු සේවාවන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයක් ලබා දීමට අපි කැපවී සිටිමු:
3.1 භෞතික ප්‍රවේශ්‍යතාව
(අ) යටිතල පහසුකම්: ප්‍රවේශ්‍යතාව සම්බන්ධ සියලුම සාමාන්‍ය නීතිවලට අනුකූල වන අතර, අපගේ බැංකු ගොඩනැගිලි විශේෂ අවශ්‍යතා සහිත සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ඇතුළු විය හැකි පරිදි සකස් කර ඇත.
(ආ) ATM යන්ත්‍ර සහ ස්වයංක්‍රීය උපකරණ: අපගේ ATM යන්ත්‍ර සහ ස්වයංක්‍රීය යන්ත්‍රවල තිර කියවීමේ පහසුකම් සහ අනෙකුත් සහායක විශේෂාංග සක්‍රීය කිරීමට අපි කටයුතු කරමින් සිටිමු.
(ඇ) පහසුවෙන් ප්‍රවේශවිය හැකි කාඩ්පත් : අවශ්‍ය ගනුදෙනුකරුවන් වෙත, ඔවුන්ගේ ඉල්ලීම මත, පහසුවෙන් භාවිතා කළ හැකි විශේෂාංග සහිත හර සහ බැර කාඩ්පත් ලබා දීමට අපි කටයුතු කරමින් සිටිමු.
3.2 ඩිජිටල් ප්‍රවේශ්‍යතාව
(අ) වෙබ් අඩවිය: අපගේ වෙබ් අඩවිය සැමට පහසුවෙන් කියවිය හැකි සහ භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කර ඇත. අකුරු ප්‍රමාණය විශාල කිරීම, වර්ණ ගැළපීම සහ තිර කියවීමේ මෘදුකාංග සමඟ අනුකූල වීම වැනි පහසුකම් එහි ඇතුළත් වේ.
(ආ) ජංගම දුරකථන යෙදුම් : අපගේ ජංගම බැංකු යෙදුම් ද, අකුරු සහ වර්ණ වෙනස් කිරීමේ හැකියාව, පහසුවෙන් සැරි සැරීමේ හැකියාව සහ තිර කියවීමේ මෘදුකාංග සමඟ භාවිත කළ හැකි පරිදි සකස් කර ඇත.
3.3 තොරතුරු සඳහා ප්‍රවේශ්‍යතාව
(අ) ලේඛන: අපගේ මූල්‍ය සේවාවන් පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය සියලුම ලේඛන, කොන්දේසි හා නියමයන්, සහ ප්‍රමාණවත් තොරතුරු ගනුදෙනුකරුවන්ට පැහැදිලිව ලබා දේ.
(ආ) සහාය ලබා ගැනීම: මූල්‍ය පාරිභෝගිකයින්ට අවශ්‍ය අවස්ථාවකදී බලය පැවරීමේ ලිපියක්, ඇටෝර්නි බලපත්‍රයක් හෝ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් හරහා තමන් විසින් බලය පවරා ඇති පුද්ගලයෙකු හරහා සහාය ලබා ගත හැකිය.
(ඇ) සහායක තාක්ෂණය: අපගේ පරිශ්‍රයන් තුළ සහායක තාක්ෂණයන් සහ උපකරණ භාවිතයට සහාය වීම සඳහා අවශ්‍ය පහසුකම් හා යටිතල පහසුකම් සලසා දෙන්නෙමු.
4. අත්සන් කිරීම සහ තහවුරු කිරීම
විද්‍යුත් අත්සන් ඇතුළුව සියලුම අත්සන් පැහැදිලිව පිළිගැනීමට බැංකුව කටයුතු කරයි. අත්සන් කිරීමට නොහැකි මූල්‍ය පාරිභෝගිකයන්ගේ මාපටඇඟිලි සලකුණ, සාමාන්‍ය අත්සනක් සේම සලකනු ලැබේ. මෙම ක්‍රියාවලිය මගින් අපගේ මුළු ශාඛා ජාලය පුරාම එකම ප්‍රමිතියක් සහ ආරක්ෂාවක් පවත්වා ගැනීම තහවුරු කරයි
5. පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ගැටලු නිරාකරණය
ඔබගේ අදහස් හා යෝජනා අපි බෙහෙවින් අගය කරන්නෙමු. අපගේ සේවාවන්ට ප්‍රවේශ වීමේදී මුහුණදීමට සිදුවන අපහසුතා හෝ යම් ආකාරයක වෙනස්කොට සැලකීමක් පිළිබඳව ගැටලුවක් ඇත්නම්, නැතහොත් වැඩිදුර තොරතුරු සහ සහාය අවශ්‍ය නම්, ප්‍රධාන කාර්යාලයේ පිහිටි අපගේ ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ එ්කකය සම්බන්ධ කර ගත හැක.
සම්බන්ධ කරගත හැකි මාර්ග:
ලිපිනය :
ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ ඒකකය,
ලංකා බැංකුව, 22 වන මහල,
"ලංකා බැංකු චතුරස්‍රය", අංක 01,
ලංකා බැංකු මාවත,
කොළඹ 01.
දුරකථන අංක : 011-2435814 / 011-2204750 / 011-2204751 (වැඩ කරන වේලාවන් තුළ)
ෆැක්ස් : 011-2435815
විද්‍යුත් තැපෑල : bocexmgt@boc.lk
වෙබ් අඩවිය : ලංකා බැංකු නිල වෙබ් අඩවිය (www.boc.lk) හි ඇති "මාර්ගගත ගනුදෙනු සම්බන්ධතා පෝරමය” පිරවීම.
ඔබගේ ගැටලු කඩිනමින් හා ඵලදායී ලෙස විසඳීමට අපි කැපවී සිටින අතර, සමස්ත ක්‍රියාවලිය පුරාම ඔබට සහය වීමට අපි සූදානම්.