ලංකා බැංකුවේ අපගේ සෑම කාර්යයකම ප්‍රධාන අරමුණ වන්නේ විශ්වාසය, විනිවිදභාවය සහ සාධාරණත්වය තුළින් ඔබ සමඟ දිගුකාලීන සබඳතාවක් ගොඩනඟා ගැනීමයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 අංක 01 දරන මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව, අපගේ සියලුම මූල්‍ය සේවාවන් හරහා ගනුදෙනුකාර ආරක්ෂණයේ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපි බැඳී සිටිමු.
අප සමඟ බැංකු කටයුතු කිරීමේදී ඔබට අපේක්ෂා කළ හැකි කරුණු :
1. සාධාරණ සහ සමාන සැලකිල්ල
1.1 අපගේ ඕනෑම ශාඛාවකදී සහ ඩිජිටල් සේවා ඔස්සේ, සෑමවිටම වෙනස්කොට සැලකීමකින් තොර, සාධාරණ සහ වෘත්තීයමය සේවාවක් ලබා ගැනීමට ඔබට අයිතියක් ඇත.
1.2 කිසිදු බලපෑමක් හෝ නොමඟ යවන සුළු උපක්‍රම භාවිතයෙන් තොරව, ඔබේ අවශ්‍යතාවලට සැබවින්ම ගැලපෙන බැංකු විසඳුම් තෝරා ගැනීමට අපගේ කාර්ය මණ්ඩලය ඔබට සහාය වනු ඇත.
2. පූර්ණ විනිවිදභාවය සහ පැහැදිලි තොරතුරු
2.1 ප්‍රමිතිගත නිෂ්පාදන තොරතුරු ප්‍රකාශන : ඕනෑම බැංකු සේවාවක් ලබා ගැනීමට පෙර, ඒ පිළිබඳ ප්‍රධාන තොරතුරු ඔබ කැමති භාෂාවකින් (සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි) ලබා ගැනීමට ඔබට අවස්ථාව ඇත.
2.2 පැහැදිලි කොන්දේසි සහ මිල ගණන් : ඔබට නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට හැකි වන පරිදි අදාළ සියලුම පොලී අනුපාත, සඵලදායී පොලී අනුපාත, ක්‍රියාවලියට අදාල ගාස්තු, දඩ මුදල් සහ රක්ෂණ ගාස්තු මුලින්ම ඔබට පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබේ.
3. ඔබේ පෞද්ගලික සහ මූල්‍ය දත්ත වල ආරක්ෂාව
3.1 ඔබේ පෞද්ගලික සහ මූල්‍ය තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සුරැකීම සඳහා අපි දැඩි තොරතුරු ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්නෙමු.
3.2 ඔබගේ පූර්ණ කැමැත්තෙන් තොරව ඔබගේ තොරතුරු අලෙවිකරණ හෝ බාහිර අරමුණු සඳහා වෙනත් බාහිර පාර්ශවයන් සමඟ කිසිවිටෙකත් හුවමාරු කර නොගනු ඇත.
4. සදාචාරාත්මක ණය අයකර ගැනීමේ පිළිවෙත්
4.1 ණය වාරික ගෙවීමේදී ඔබට යම් අපහසුතාවයක් ඇති වුවහොත්, අපගේ ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය සෑම විටම ගෞරවනීය, සාධාරණ සහ වෘත්තීය මට්ටමකින් සිදු කරනු ලබයි.
4.2 ණය අයකර ගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගනු ලබන්නේ නියමිත වේලාවන් තුළ පමණි (පෙරවරු 6:00 සිට පස්වරු 9:00 දක්වා). අපගේ නිලධාරීන් කිසිවිටෙකත් නුසුදුසු භාෂා භාවිතය, තර්ජනය කිරීම් හෝ ඔබේ සේවායෝජකයාට හෝ පවුලේ සාමාජිකයන්ට අවසරයකින් තොරව කතා කිරීම සිදු නොකරයි.
5. සැමට ප්‍රවේශ විය හැකි බැංකු සේවා
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ වැඩිදුර මූල්‍ය මගපෙන්වීමක් අවශ්‍ය පුද්ගලයින් ඇතුළු සියලුම ගනුදෙනුකරුවන් සඳහා ප්‍රවේශ විය හැකි බැංකු පරිසරයක් පවත්වා ගැනීමට අපි අඛණ්ඩව කැපවී සිටිමු.
6. විනිවිදභාවයකින් යුත් පැමිණිලි හැසිරවීම සහ විසඳුම් ලබා දීම
අපගේ කිසියම් සේවාවක් පිළිබඳව ඔබ තෘප්තිමත් නොවන්නේ නම් හෝ ඔබේ අයිතිවාසිකම් සුරැකී නොමැති බව හැඟෙන්නේ නම්, ඔබේ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විනිවිදභාවයෙන් යුත් පැහැදිලි ක්‍රමවේදයක් අපි සලසා ඇත්තෙමු.
පියවර 1: ඔබේ පැමිණිල්ල ලියාපදිංචි කිරීම
ඔබේ ප්‍රදේශයේ බැංකු ශාඛා කළමනාකරු දැනුවත් කරන්න, නැතහොත් අපගේ නිල වෙබ් අඩවිය හෝ පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිල්ල යොමු කරන්න. සෑම පැමිණිල්ලක්ම අප විධිමත් ලෙස සටහන් කරගනු ලැබේ.
පියවර 2: ලැබුණු බව තහවුරු කිරීම
වැඩකරන දින 5ක් ඇතුළත පැමිණිල්ල ලැබුණු බවට විධිමත් තහවුරු කිරීමක් ඔබට ලැබෙනු ඇත.
පියවර 3: ගැටළුව නිරාකරණය කිරීම
දින දර්ශන දින 21ක් ඇතුළත ගැටලුව පරීක්ෂා කර විසඳීමට අපි බලාපොරොත්තු වෙමු. අමතර කාලයක් අවශ්‍ය නම්, ඒ පිළිබඳව ඔබට දැනුම් දෙනු ඇත.
පියවර 4: වැඩිදුර යොමු කිරීම
අප ලබාදෙන අවසාන විසඳුම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත ඔබේ පැමිණිල්ල යොමු කිරීමට ඔබට අයිතියක් ඇත.
ඔබට ඔබව ආරක්ෂා කර ගත හැකි ආකාරය
ගිවිසුම්වලට අත්සන් කිරීමට පෙර සෑම විටම නියමයන් සහ කොන්දේසි හොඳින් කියවා තේරුම් ගන්න.
ඔබේ රහස්‍ය තොරතුරු (PIN අංක, මුරපද සහ OTP සංකේත) සුරක්ෂිතව තබා ගන්න. ලංකා බැංකුව කිසිවිටෙකත් ඔබගෙන් මුරපද (Passwords) හෝ OTP සංකේත ඉල්ලා නොසිටිනු ඇත.
ඔබගේ අදහස් හා යෝජනා අපි බෙහෙවින් අගය කරන්නෙමු. අපගේ සේවාවන්ට ප්‍රවේශ වීමේදී මුහුණදීමට සිදුවන අපහසුතා හෝ යම් ආකාරයක වෙනස්කොට සැලකීමක් පිළිබඳව ගැටලුවක් ඇත්නම්, නැතහොත් වැඩිදුර තොරතුරු සහ සහාය අවශ්‍ය නම්, ප්‍රධාන කාර්යාලයේ පිහිටි අපගේ ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ එ්කකය සම්බන්ධ කරගත හැක.
සම්බන්ධ කරගත හැකි මාර්ග:
ලිපිනය :
ගනුදෙනුකාර අත්දැකීම් කළමනාකරණ ඒකකය,
ලංකා බැංකුව, 22 වන මහල,
"ලංකා බැංකු චතුරස්‍රය", අංක 01,
ලංකා බැංකු මාවත,
කොළඹ 01.
දුරකථන අංක : 011-2435814 / 011-2204750 / 011-2204751 (වැඩ කරන වේලාවන් තුළ)
ෆැක්ස් : 011-2435815
විද්‍යුත් තැපෑල : bocexmgt@boc.lk
වෙබ් අඩවිය : ලංකා බැංකු නිල වෙබ් අඩවිය (www.boc.lk) හි ඇති "මාර්ගගත ගනුදෙනු සම්බන්ධතා පෝරමය” පිරවීම.
ඔබගේ ගැටලු කඩිනමින් හා ඵලදායී ලෙස විසඳීමට අපි කැපවී සිටින අතර, සමස්ත ක්‍රියාවලිය පුරාම ඔබට සහය වීමට අපි සූදානම්.