නිදහසට පෙර ලංකාව සියවස් හතරක් යටත්විජිත පාලනයට නතුව පැවතිණි. යටත්විජිත බලධාරීහු ඔවුන්ගේ ඒකාධිකාරයක් ලෙස වෙළඳාම, වාණිජ්‍යය සහ කර්මාන්ත ආධිපත්‍යය පවත්වාගෙන ගිය හ. දිවයිනේ සාමාන්‍ය ජනතාව, වෙළෙන්දන්ගේ සහ මුදල් ණයට දෙන්නන්ගේ ගොදුරු බවට පත්වී සිටිය හ.

නව ප්‍රතිසංස්කරණ සමග, රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් 1934 දී පත්කළ ලංකා බැංකු කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව, ලංකාවේ ජාතික බැංකුවක් පිහිටුවීම අනුමත කරන ලදී.

ආර්ථිකය විවිධාංගීකරණය කිරීම සඳහා දේශීය ජනප්‍රජාවගේ සහ ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා, ජාතික බැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් මෙම පරිවර්තනීය මුලපිරීමේ දී රටට අවශ්‍ය විය.

අපේම බැංකුවක් බිහි වූ දා සිට, මෙරට ජනතාව ඒ වටා ඒකරාශී වූහ. මෙලෙස ලංකා බැංකුව, ජනතාවගේ එදිනෙදා ජීවිතයේදී ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සහ  ව්‍යවසායකත්වය පෝෂණය කරමින්, වෙළෙඳ විෂය පථය පුළුල් කරමින්, ව්‍යාපාර වැඩි දියුණු කරමින් සහ ජාතික සංවර්ධනය බලගන්වමින් ක්‍රමයෙන් සමෘද්ධිමත් විය.

මෙසේ වසර හාරසියයක විදේශ ආධිපත්‍යයකින් පසු නිර්මාණය වූ මුල්‍ය නිදහස තුලින්, මුල්වරට ජාතියට මුල්‍ය ස්වාධීනත්වයේ සැබෑ වටිනාකම දැනීමට, අවබෝධ කරගැනීමට සහ අත්විඳීමට ඉඩහසර විවර කරනු ලැබිය.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිව සිටි ඒබ්‍රහම් ලින්කන් - ඔහුගේ සුප්‍රසිද්ධ ගෙටිස්බර්ග් දේශනයේදී ප්‍රකාශ කරන ලද සංවේදී හැඟීම්වලින් එකක් අපට මෙහි දී සිහිපත් වේ. අපි, ඔහුට නිසි ගෞරවයෙන් යුතුව, ඔහුගේ උපුටා දැක්වීම පහත පරිදි අනුවර්තනය කරමු; ලංකා බැංකුව - ‘ජනතාව විසින්, ජනතාව වෙනුවෙන් බිහිවූ, ජනතා බැංකුව’ වීම ගැන අපි ආඩම්බර වෙමු.

BOC  History

1939 - 1950

ජනතාව සඳහා මූල්‍ය නිදහස නිර්මාණය කිරීම

1939 අගෝස්තු 1 වැනි දින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කැල්ඩෙකොට් විසින්, කොළඹ වාණිජ අගනගරයේ, කොටුව බ්‍රිස්ටල් වීදියේ අංක 41 දරන ස්ථානයේ පිහිටි ලංකා බැංකුව, උත්සවාකාරයෙන් විවෘතකරන ලදී. විනිමය බැංකු සහ අවිධිමත් මුදල් ණය දෙන්නන්ගේ දැඩි තරගයට එරෙහිව, ජනතාව සඳහා වූ පළමු දේශීය බැංකුව ලෙස එය දිනෙන් දින වර්ධනය වන්නට විය.

1941 දී, පළමු පිට පළාත් ශාඛාව මහනුවර නගරයේ පිහිටුවන ලද අතර පසුව ගාල්ල, යාපනය සහ ත්‍රිකුණාමලය යන නගරවල ද ශාඛා ආරම්භ කරන ලදී. ආරම්භයෙන් දශකයකට පසුව, වඩාත් පුළුල් හා සුවිසල් පිම්මක් ලෙස අපගේ ගනුදෙනුකරුවන් සඳහා තවතවත් වැඩි අවස්ථා උදාකරමින්, වසර 1949 දී ලන්ඩන් නගරයේ සිය පළමු විදේශීය ශාඛාව පිහිටුවමින්, සත්සමුදුරෙන් එතෙරට ද ලංකා බැංකුව සිය සේවාව ව්‍යාප්ත කරන ලදී.

1950 – 1975

කෘෂි ආර්ථිකය සවිමත් කරන ග්‍රාමීය අංශය කරා ළඟාවීම

1961 දී ලංකා බැංකුව, ජාතික සංවර්ධන උපාය මාර්ගික ප්‍රයත්නයන් වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනසතු කරන ලදී. පවතින රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටින් සමග අනුගත වෙමින් ජාතියේ අපේක්ෂා ඉටුකිරීමට බැංකුව කැපවිය.

1973 - ලංකා බැංකුව, කෘෂි සේවා මධ්‍යස්ථාන ශාඛා 79ක් පිහිටුවමින් ගම් මට්ටමින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා දැවැන්ත පියවරකට එළැඹෙන ලදී. දේශීය කෘෂි කර්මාන්තයේ උන්නතිය පිණිස මූල්‍යමය සහය ලබාදීමේ කාර්යය, කාර්යක්ෂමව ඉටු කිරීම මෙහි අපේක්ෂාව විය. තැන්පතු ඒකරාශී කිරීම් සහ වගා ණය සැපයීම, කෘෂි සේවා මධ්‍යස්ථාන ශාඛාවල වගකීම් විය. බීජ, පැළෑටි, පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, ට්‍රැක්ටර් සහ ගොවිපළ උපකරණ මිලට ගැනීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම ඇරඹිණි.

1973 වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් හඳුන්වාදෙනු ලැබූ සර්වග්‍රාහී ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ නියෝජිත ආයතන අතරට ලංකා බැංකුව ද එක්විය.

1975 – 2000

අපගේ අසමසම ගමනෙහි මං සලකුණු

විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුකරණයේ නව යුගයක් උදාවිය.

ඉනික්බිතිව, ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අංශයට තොරතුරු තාක්‍ෂණය හඳුන්වා දීමට පුරෝගාමී විය.

1979 දී, විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකුව විසින් ශ්‍රී ලංකාවේ පළමු විදේශ මුදල් බැංකුකරණ ඒකකය (FCBU) පිහිටුවන ලදී.

බැංකුව ප්‍රාදේශීය කාර්යාල හතරක් පිහිටුවූ අතර ඒවායේ විෂය පථය යටතේ බැංකුවේ කටයුතු ස්ථාපිත කරන ලදී. 70 දශකයේ අග භාගය වන විට, දීප ව්‍යාප්ත ශාඛා ආවරණය, වැඩි ව්‍යාපාරික පරිමාවන් සහ විදේශීය ශාඛා සංඛ්‍යාවේ වැඩි වීම සමගින් ශක්තිමත් වූ, බැංකුව නව වර්ධනයක් අත්පත් කරගන්නා ලදී.

ලංකා බැංකුව වාණිජ බැංකු කටයුතුවලට අමතරව පිහිටුවා ඇති අනුබද්ධ සහ ආශ්‍රිත සමාගම් හරහා වෙනත් ව්‍යාපාරවලට ද පිවිසිනි.

1981 දී බැංකුව මාලදිවයින් ජනරජයේ අගනුවර වන 'මාලේ' හි ශාඛාවක් විවෘත කරන ලදී.

1982 දී මෙරට ප්‍රථම වෙළඳ බැංකුව - සීමාසහිත මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා, ලංකා බැංකුව විසින් විවෘත කරන ලදී.

1987 දී ආයතනික හා පුද්ගලික ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය සදහා සියලුම පරිපාලන කාර්යාල, ජාත්‍යන්තර අංශය සහ වෙනම ශාඛා දෙකක් සමග මහල් 32කින් සමන්විත නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

1989 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලංකා බැංකුව VISA International සමඟ එක්ව Ceybank Visa Credit Cards හඳුන්වා දුන් අතර නව සහශ්‍රයේදී නව්‍ය පහසුකම් රැසක් හඳුන්වා දීමට සැරසිණි.

1995 දී බැංකුව ඉන්දියාවේ 'චෙන්නායි' හි තවත් විදේශීය ශාඛාවක් විවෘත කළේය.

2000 – 2020

ජනතාවගේ හදවතේ විශ්වාසය දිනා ගැනීම

2005 දී ලංකා බැංකුව සිය ශාඛා ජාලය එක් මාර්ගගත පද්ධතියකට ගෙන ඒම සඳහා පෙරළිකාර මුලපිරීමක් ආරම්භ කළ අතර 2009 දී එම ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වීම බැංකුව තැබූ ඓතිහාසික පියවරක් විය.

2008 දී, ඉතිහාසයේ ප්‍රථම වතාවට, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කළ බැංකුව, සාමාන්‍ය ජනතාවගෙන් අරමුදල් රැස් කිරීම සදහා වූ වසර 5 කට යටත් ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 4.2 ක අරමුදල් රැස් කරන ලදී. එය ජනතාව බැංකුව කෙරෙහි තැබූ අතිමහත් විශ්වාසය තවදුරටත් සනාථ කිරීමකි.

2010 දී, ලංකා බැංකුව එක්සත් රාජධානියේ සිය මෙහෙයුම් විවිධාංගීකරණය කළේ ලන්ඩන් හි පිහිටි ශාඛාව බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අංගසම්පූර්ණ බැංකුවක් ලෙස වැඩිදියුණු කිරීමෙනි. එය අපේ රටට වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කරන ගෝලීය බැංකුකරණය සඳහා උපායමාර්ගික වේදිකාවකි.

බැංකුව 2014 දී සිය හතරවන විදේශීය ශාඛාව 'සීෂෙල්ස්' හි දී පිහිටුවන ලදී.

බැංකුව සිය සේවා විවිධාංගීකරණය සදහා දිවයින පුරා ජාලයක් හරහා ක්‍රියාත්මක වන ඉස්ලාමීය බැංකුකරණ ඒකකයක් සහ මූලික නොවන බැංකුකරණය තුළ සිය කළඹ විවිධාංගීකරණය කිරීම අරමුණු කරගත් ආයෝජන බැංකුකරණ ඒකකයක් දියත් කරන ලදී.

සුරැකුම් රහිත මුදවා ගත හැකි පස් අවුරුදු ණයකර දෙවන දෙවන මහජන නිකුතුවේදී බැංකුව විසින් රුපියල් බිලියන 5ක් රැස් කළේය. නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුවේ දී, ලංකා බැංකුව, එම නිකුතුවේ බැංකුකරුවන්, කළමනාකරුවන්, අනුග්‍රාහකයින් සහ රෙජිස්ට්‍රාර්වරුන් ලෙස කටයුතු කළේය.

උපායමාර්ගික ඉදිරි දැක්මකින් 2020 දෙස බලන විට, එම වසර තුළ අපගේ ප්‍රධාන අවධානය යොමු වූයේ COVID වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික සහ රාජ්‍ය යන දෙ අංශයටම සහයෝගය දැක්වීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව ලෙස, අත්‍යවශ්‍ය බැංකු සහ ආර්ථික ක්‍රියාකාරකම් පවත්වාගෙන යන අතරම, ව්‍යාපාරවලට අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සහ ඔවුන්ගේ පුනර්ජීවනය සඳහා සහය වෙමින්, රටේ ආර්ථික ප්‍රබෝධය ඇති කිරීමට ලංකා බැංකුව තම දායකත්වය නොමදව ලබා දෙන ලදී.

2020 යනු අසාමාන්‍ය අභියෝගවලින් පිරුණු වසරක් වූ අතර, ආර්ථික ක්‍රියාකාරකම්වල මන්දගාමිත්වය, නොකඩවා අඩු පොලී අනුපාත තත්ත්වයන් සහ ණය හා තැන්පතු කළඹේ ගුණාත්මක භාවයහි අඩුවීමක් සටහන් විය. මෙම පසුබිම යටතේ, බැංකුවේ මූල්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑ අඩු පොලී අනුපාත තත්ත්වය විසින් නිර්මාණය කරන ලද අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්, ගනුදෙනුකරුවන්ට ණය සහන දීමනා සහ සහනදායි පහසුකම් පිරිනැමීම හරහා රටේ ආර්ථික පුනර්ජීවනයට නායකත්වය ලබා දීමට ලංකා බැංකුව පෙරමුණ ගනු ලැබිය.

2021- 2025

අභියෝග මතින් සමෘද්ධිමත් අනාගතයක් කරා

වසර 86 ක් පුරා අප අපගේ ගමන පුරාවට ම සාර්ථක මං  සලකුණු සනිටුහන් කර ඇත. අපි බොහෝ අභියෝගයන්ට අභියෝග කර ඇති අතර, වසංගත තත්ත්වයන්ටත් වඩා වැඩි අවදානම් විසින් අපගේ ජන ජීවිතය සහ ආර්ථික ස්ථාවරත්වය පහත හෙළා ඇත. එහෙත්, සියලු අභියෝග හමුවේ  ලංකා බැංකුව තවදුරටත්  ජාතික මූල්‍ය ක්ෂේත්‍රයේ අසහාය නායකයා ලෙස ඉහළට නැගී සිටියි. රුපියල් ට්‍රිලියන 4.3 ක වත්කම් පදනමක් සමඟින්, ජාතියේ බැංකුකරු වීම සඳහා අපගේ දැක්ම ක්‍රියාත්මක කරන්නෙමු. ශක්තිමත් ගෝලීය පැවැත්මක් සමඟින්, ගනුදෙනුකාර කේන්ද්‍රීය නව්‍ය මූල්‍ය විසඳුම් ලබාදීමට අපි ඇප කැපවී සිටිමු.

ප්‍රථම රාජ්‍ය බැංකුව ලෙස ස්ථාපනය වීමත් පවත්වා ගැනීමත් සුමට කාර්යයක් නොවේ. මූල්‍ය සේවා ක්‍ෂේත්‍රයේ විශිෂ්ට කුසලතාවකින් සහ ප්‍රවීණත්වයකින් සන්නද්ධව පවත්වාගෙන යනු ලබන ලංකා බැංකුවේ අද්විතීය  වෙළෙඳපොළ නායකත්වය ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමයක් තුළ වත්මන් ගෝලීය තරඟයට එරෙහිව උඩුගං බලා  පිහිනීමට අපට ශක්තිය ලබා දී ඇත.

බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස, අභියෝගාත්මක කාලවලදී පවා දේශීය ආර්ථිකය නංවාලීමට  පිටිවහලක් වෙමින්, ප්‍රධාන අංශ සහ කර්මාන්ත සඳහා සහය වන රටේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ පෙළගැසී, ජාතික අවශ්‍යතා ඇති සංවර්ධන ව්‍යාපෘති බලගන්වමින්, සෞභාග්‍යය සහ සංවර්ධනය උදෙසා වූ ඉදිරි ගමනට මග පෙන්වන්නෙමු.

වසර ගණනාවක් පුරා නව තාක්‍ෂණය සමග යාවත්කාලින වෙමින් ඩිජිටල් බැංකුකරණය හරහා  අපගේ ගනුදෙනුකරුවන් වෙත සේවය සැලසීම සදහා සාර්ථකව අනුවර්තනය වීමට අපට හැකි විය.

මූල්‍ය ක්ෂේත්‍රයේ නායකත්වයෙහි රැදී සිටීමේදී අපගේ ස්ථාවරය ශක්තිමත් කරන තාක්ෂණයන් අවශෝෂණය කර ගනිමින්, ගනුදෙනුකරුවන්, පාර්ශවකරුවන් සහ පොදු ජනතාව සමඟ සාර්ථකත්වය බෙදාහදා ගනිමින් නව්‍යකරණයන් සමඟ අඛණ්ඩව සේවාවන්  වැඩිදියුණු කරන්නෙමු.